ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද නැවත් ආරම්භ වුණා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේයී.

අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද පෙරවරුවේ තවදුරටත් කරුණු දක්වමින් පෙන්වා දුන්නේ වර්තමානයේ රටේ පවතින වාතාවරණය හමුවේ මැතිවරණ ක්‍රියාපටිපාටිය ආරම්භ කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් දැනුම් දී තිබියදී මැතිවරණ කොමිසම එම ක්‍රියා පටිපාටිය ආරම්භ කිරිම පමා කරමින් සිටින බවයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වූ ජනතාවට රුපියල් 5000 /-ක දීමනාවක් ප්‍රදානය කිරීමේ රජයේ වැඩපිළිවෙළ පිළිබඳ මැතිවරණ කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර ඇති බවත් එතුළින් රුපියල් 5000 දීමනාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේදී දේශපාලනය ඉවත් විය යුතු බවට කරුණු දක්වා ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

රජය විසින් රුපියල් 5000/- සේ දීමනාව ප්‍රදානය කරනු ලබන්නේ දේශපාලන අවශ්‍යතාවක් නිසා නොවන බවද වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වූ ජනතාවට සහන ප්‍රදානය කිරීම එහි අරමුණ බවද පෙන්වා දුන් නීතිඥවරයා වැඩිදුරත් පෙන්වා දුන්නේ එවැනි සහන හා ආධාර වැඩසටහන් මෙරට පමණක් නොව ලොව පුරා ක්‍රියාත්මක වෙමින් තිබෙන බවයි.

පෙත්සම සලකා බැලීම තවදුරටත් සිදුවෙමින් පවතිනවා.

LEAVE A REPLY