සෑම වසරකදීම දුම්කොළ නිෂ්පාදන නිසා ලෝකයේ මිලියන අටක පිරිසක් මියයන බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසනවා.

එහි සභාපති ආචාර්ය සමාධි වී.රාජපක්ෂ මහතා පැවසුවේ සෑම තත්පර හතරකදීම දුම්කොළ නිෂ්පාදන භාවිත කිරීමෙන් පුද්ගලයන් හතර දෙනකු මියයන බවයි.

ශ්‍රී ලංකාවේද දුම්කොළ භාවිතය නිසා දෛනිකව පුද්ගල මරණ 60 ක් සිදුවන බවත්, අවුරුදු 15-24 වයස් කාණ්ඩයේ පසුවන යෞවනයන් මේ වනවිට දුම්කොළ කර්මාන්තකරුවන්ගේ ගොදුරු බවට පත්වී ඇති බවත් සභාපතිවරයා පැවසුවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් සමාධි වී.රාජපක්ෂ මහතා පැවසුවේ මෙරට කාන්තාවන්ගෙන් සියයට 22ක් නිවෙස්වල සිටියදී අක්‍රිය දුම්පානයට යොමුවී ඇති අතර ඉන් සියයට 11 අක්‍රිය දුම් පානයට යොමුව ඇත්තේ රැකියා ස්ථානවලදී බවයි.

2035 වසර වන විට දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන , පවතින ප්‍රමාණයෙන් සියයට තිහක් පමණ අඩු කිරීම සිය ඉලක්කය බවයි ඔහු පැවසුවේ.

ලෝක දුම්වැටි විරෝධී දිනය අදට යෙදී තිබෙනවා.

දුම්කොළ කර්මාන්තකරුවන් විසින් ඔවුන්ගේ වාසියට යොදන උපක්‍රමවලින් දරුවන් සහ තරුණයන් ආරක්ෂා කිරීමත්, ඔවුන් දුම්කොළ හා නිකොටින් භාවිතයෙන් වළක්වා ගැනීමත් මෙවර එහි තේමාවයි.

LEAVE A REPLY