කන්දකාඩුවේ වසංගත තත්ත්වයක් – හලාවත තරුණිය ආගිය තැනුත් සොයයි
කන්දකාඩු ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානයේ පවතින තත්ත්වය වසංගත තත්ත්වයක් සේ සළකා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ අදාළ මධ්‍යස්ථානයේ පිරිස් සහ තවත් කණ්ඩායම් කිහිපයක් වෙනුවෙන් පී සී ආර් පරීක්ෂණ සිදුකළ බවයි. එමෙන්ම මෙම පුනරුත්තාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව තවත් රෝගීන් වාර්තා වීමේ අවදානමක් පවතින බවද අනිල් ජාසිංහ මහතා පවසනවා.

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය තුලින් මේ වන විට හදුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණණ 252 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද පෙරවරුවේ දී ආසාදිතයින් 196 දෙනෙකු හදුනාගත් අතර තවත් ආසාදිතයින් 56 දෙනෙකු ඊයේ පස්වරුවේ හදුනාගෙන තිබුණා.
මේ අතර අද සිදුකර ඇති පරීක්ෂණවල වාර්තා ලැබීමට නියමිතයි.
එමෙන්ම හලාවත නාත්තන්ඩිය ප්‍රදේශයෙන් හදුනාගත් කොරෝනා ආසාදිත තරුණිය මේ වන විට කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. 27 හැවිරිදි ඇය කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කළ තරුණියක්. ඇය නිවස වෙත පැමිණීමෙන් අනතුරුවයි කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන තිබුණේ. ඒ අනුව ඇය කන්දකාඩු මධ්‍යස්ථානයේ සිට නාත්තන්ඩියේ සිය නිවස දක්වා බස් රථ කිහිපයකින් පැමිණ ඇති අතර
එම ගමනාන්තය තුළ ඇයගෙන් වෛරසය පිටවීමක් සිදුව ඇත්ද යන්න පිළිබඳද සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා.
නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපුල් ජයතිලක මහතා සඳහන් කළේ නාත්තන්ඩිය ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 4 කට අයත් පුද්ගලයින් 50 කට ආසන්න පිරිසක් මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි. ආසාදිත තරුණිය සමීපව ඇසුරු කළ පුද්ගලයින් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මෙම නිරෝධායන වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. එමෙන්ම කොරෝනා ආසාදිත තරුණියගේ මව සහ පියා ද පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවයේ නිරත ආරක්ෂක අංශ සාමාජිතයින් හා අනෙකුත් කාර්ය මණ්ඩලවල 100 කට ආසන්න පිරිසක්ද
ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
මේ අතර කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු පැල්මඩුල්ලේ පිහිටි සිය නිවෙස් වෙත පැමිණීමත් සමග එම ප්‍රදේශවල ද නොසන්සුන්තාවක් හටගෙන තිබෙන බව අප වාර්තාකරුවන් සඳහන් කළා.
මෙම තත්වය තුළ එම නිවෙස්වල සාමාජිකයින් ද ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙන්නේ. ඔවුන් ප්‍රදේශයේ විහාරස්ථානය වෙත පැමිණ ඇති බව සැලවීමත් සමග එම විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා පස්නමක් ද ස්වයං නිරෝධායනයට යොමු කළ බව පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

LEAVE A REPLY