2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතුයි. පොහොය දිනයේ ආගමික කටයුතු සඳහා බාධා එල්ල වීමට ඇති හැකියාව, මැතිවරණ රාජකාරී ආරම්භ කිරීම වැනි කරුණු කිහිපයක් මත පදනම්වයි හෙට මැදියම් රැයෙන් පසුව ප්‍රචාරණ කටයුතු නතර කළ යුතු බවට මැතිවරණ කොමිෂම උපදෙස් ලබාදුන්නේ.

ගෙයින් ගෙට යෑම, ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, පෝස්ටර්, දැන්විම්, බැනර් ප්‍රදර්ශනය කිරීම යන සියළු කාරණා හෙට මැදියම් රැයෙන් පසුව තහනම් ක්‍රියාවන් ලෙස සලකා කටයුතු කරන බවද මැතිවරණ කොමිෂම සඳහන් කළා.

හෙට මධ්‍යම රාත්‍රි 12.00 පසු ආරම්භ වන නිහඬ කාලසීමාව තුළ සියලු දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ අපේක්ෂකයින් නීතිවිරෝධී ක්‍රියාවලින් වැළකී නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහය ලබාදෙනු ඇති බවට විශ්වාස කරන බවයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ.

මේ අතර ප්‍රචාරණ ක්‍රියාවලිය විවිධ උපායන් යටතේ සිදු කිරීමට ඡන්ද අපේක්ෂකයන් කටයුතු යොදමින් සිටින බවටද තොරතුරු ලැබී තිබෙනවා. සිය මනාප අංකය සහ පක්ෂ ලාංඡනය සහිත පෑන් ඡන්දදායකයින් අතර බෙදා හරිමින් ඡන්ද මධ්‍යස්ථාන තුළ නොගැලපෙන තත්ත්වයක් නිර්මාණය කිරීමේ තත්ත්වයක්ද හදුනාගෙන ඇති බවයි පැපරල් සංවිධානය පවසන්නේ. මෙවර මැතිවරණයේදී ඡන්දය සලකුණු කිරීම සඳහා පෞද්ගලිකව පෑනක් රැගෙන එන ලෙස ඡන්ද දායකයින් වෙත සෞඛ්‍ය අංශ හා මැතිවරණ කොමිෂම උපදෙස් ලබාදී ඇති පසුබිමකයි මෙලෙස මැතිවරණ නීති උල්ලංගණය කරමින් පෑන් බෙදා හැරීමක් සිදුවෙමින් පවතින්නේ. පෑනක් ලබාදීම සිදුකළ හැකි වුවද අපේක්‍ෂකයින්ගේ මනාප අංක සහ පක්‍ෂ ලාංඡන සහිතව පෑන් බෙදා හැරීම මැතිවරණ නීති උල්ලංගණය කිරීමක් ලෙස සැලකිය හැකියි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසුවේ එවැනි ක්‍රියාවන් අල්ලස් ලබාදීමකටත් වඩා භයානක බවයි. ත්‍රිකුණාමලය, ගාල්ල, රත්නපුර, කළුතර, යාපනය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකින් මෙලෙස පෑන් බෙදීමේ සිද්ධින් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයිස මැතිවරණ නිරීක්‍ෂකයින් සඳහන් කළා.

මේ අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් හෙටින් පසුව අපේක්‍ෂකයින් දේශපාලන පක්‍ෂ හා ඡන්ද දායකයින්ද සහයෝගය ලබාදිය යුතු බව වී එෆ්එම් ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් පැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.

LEAVE A REPLY