අංගොඩ ලොක්ක නැමැති අපරාධකරුවාගේ බවට හදුනා ගත් උකුස්සා මේ වන විට දෙහිවල සත්වෝද්‍යානයේ ආරක්‍ෂිතව රදවා සිටිනවා. මත්කුඩු ප්‍රවාහනය සඳහා මෙම උකුස්සා අංගොඩ ලොක්ක සහ ඔහුගේ ගෝලයින් විසින් යොදා ගන්නට ඇති බව පොලිසියේ සැකයයි. එමෙන්ම මෙම සත්වයා විදේශීය රටක සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් ඇති බවද මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මෙම උකුසු වර්ගය ඕනෑම කටයුත්තක් සඳහා පුහුණ කළ හැකි විශේෂයක් බවද මෙවැනි සතෙකුට කිලෝ 15 ත් 20 ත් අතර බරක් ඕනෑම තැනකට ගෙනයාමේ හැකිවාය පවතින බවද පොලිසිය අධිකරණය වෙත ඊයේ දැනුම් දුන්නා.

කරුණු සලකා බැලූ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ පොලිසියට නියෝග කළේ මෙම උකුස්සා පිළිබඳ ජීවවිද්‍යාත්මක හා හැකියාවන් පිළිබඳ පරීක්‍ෂාකර වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙසයි. එමෙන්ම එම පරීක්‍ෂණ දෙහිවල සත්වෝද්‍යානයේ විශේෂඥයින් යටතේ සිදුකරන ලෙසද අධිකරණය නියෝග කර තිබුණා.

මේ සම්බන්ධයෙන් වීඑෆ්එම් ප්‍රවෘත්ති කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ අදාල පරීක්‍ෂණ සඳහා එම උකුස්සා දෙහිවල සත්වෝද්‍යානයට බාරදුන් බවයි. විශේෂ ආරක්‍ෂාවක් සහිතව එම සත්වයා එහි රැදවීමටයි පියවර ගෙන තිබෙන්නේ.

LEAVE A REPLY