2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතුයි. හෙටට යෙදි ඇති පොහොය දිනයේ ආගමික කටයුතු සඳහා බාධා එල්ල වීමට ඇති හැකියාව, මැතිවරණ රාජකාරී ආරම්භ කිරීම වැනි කරුණු කිහිපයක් මත පදනම්වයි අද මැදියම් රැයෙන් පසුව ප්‍රචාරණ කටයුතු නතර කළ යුතු බවට මැතිවරණ කොමිෂම උපදෙස් ලබාදුන්නේ.

ගෙයින් ගෙට යෑම, ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, පෝස්ටර්, දැන්විම්, බැනර් ප්‍රදර්ශනය කිරීම යන සියළු කාරණා අද මැදියම් රැයෙන් පසුව සැලකෙන්නේ තහනම් ක්‍රියාවන් ලෙසයි.

අද මධ්‍යම රාත්‍රි 12.00 පසු ආරම්භ වන නිහඬ කාලසීමාව තුළ සියලු දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ අපේක්ෂකයින් නීතිවිරෝධී ක්‍රියාවලින් වැළකී නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහය ලබාදෙනු ඇති බවට විශ්වාස කරන බවයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ.

මේ අතර අද මැතිවරණ කොමිෂන් සභාවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් ඒවා ෆේස්බුක් දැමීමට පෙර මැතිවරණ කොමිෂම වෙත දැනුම් දෙන ලෙසයි.

ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන්නේ ලබන 06 දායී. ඒ දක්වා ඡන්ද පෙට්ටි ගබඩාකර තැබීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද මහින්ද දේශප්‍රිය මහතා කරුණු පැහැදිලි කළා.

ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව මෙවර ක්‍රියාත්මක වන්නේ සෞඛ්‍යාරක්‍ෂිත වැඩපිළිවෙලක්. ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීමේදී අනුගමනය කළ යුතු කාරණා සම්බන්ධයෙන්ද දේශප්‍රිය මහතා උපදෙස් ලබාදුන්නා.

LEAVE A REPLY