ප්‍රධාන දේශපාලන පක්ෂ තම අවසන් ජන හමු පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජන හමුව අද පස්වරු 05.00ට පක්ෂ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් තංගල්ල – කාල්ටන් නිවසේදී පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව අවසන් ජන හමු අද දවස පුරා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම, අම්බලන්තොට, රන්න හා වීරකැටිය ප්‍රදේශවලදී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂයේ අවසන් ජන හමුව අද පස්වරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් මරදාන – ඩීන්ස් පාරේදී පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව එම පක්ෂයේ තවත් ජන හමු කිහිපයක් අද ගාල්ල දිස්ත්‍රික්කයේද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහභාගි වන අවසන් ජන හමුව අද පස්වරු 6ට කොළඹ – අලූත්කඬේ ප්‍රදේශයේදී පැවැත්වෙනවා.

සජිත් ප්‍රේමදාස සහභාගි වන සමගි ජන බලවේගයේ තවත් ජන හමු අද දවස පුරා හෝමාගම, කොළොන්නාව සහ කඩුවෙල යන ප්‍රදේශවලදී ද පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහභාගි වන අවසන් ජන හමුව අද පැවැත්වීමට නියමිතව ඇත්තේ අලූත්කඬේ ජුම්මා මස්ජිද් වීදියේදියි.

LEAVE A REPLY