පක්ෂයෙන් නෙරපා හැරීම ප්‍රමාද කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තුන්වැනි පාර්ශ්වයක් මගින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අදාළ ඉල්ලීමට එක්සත් ජාතික පක්ෂ නායකයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

පක්ෂයේ හිටපු නායකයකු මෙන්ම ජනාධිපතිවරයකුද වන රණසිංහ ප්‍රේමදාස මහතාට දක්වන ගෞරවයක් ලෙස සලකා පක්ෂයෙන් නෙරපීම ප්‍රමාද කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර ඇතැයි සඳහන්.

කෙසේ වෙතත් ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම් යන මහත්වරුන් සම්බන්ධයෙන් හෙට පැවැත්වීමට නියමිත පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීන්දුවක් ගැනීමට නියමිතයි.

සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන්ද හෙට තීන්දුවක් ගැනීමට නියමිතව තිබුණත් මෙම ඉල්ලීම මත එය ප්‍රමාද කිරීමටද එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර තිබෙනවා.

පසුගිය සතියේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සමගි බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 51 දෙනකු සහ පළාත් පාලන නියෝජිතයන් 64 දෙනකු පක්ෂයෙන් නෙරපා හැරියා.

LEAVE A REPLY