2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතුයි.

හෙටට යෙදි ඇති පොහොය දිනයේ ආගමික කටයුතු සඳහා බාධා එල්ල වීමට ඇති හැකියාව, මැතිවරණ රාජකාරී ආරම්භ කිරීම වැනි කරුණු කිහිපයක් මත පදනම්වයි අද මැදියම් රැයෙන් පසුව ප්‍රචාරණ කටයුතු නතර කළ යුතු බවට මැතිවරණ කොමිෂම උපදෙස් ලබාදුන්නේ.

ගෙයින් ගෙට යෑම, ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, පෝස්ටර්, දැන්විම්, බැනර් ප්‍රදර්ශනය කිරීම යන සියළු කාරණා අද මැදියම් රැයෙන් පසුව සැලකෙන්නේ තහනම් ක්‍රියාවන් ලෙසයි.

අද මධ්‍යම රාත්‍රි 12.00 පසු ආරම්භ වන නිහඬ කාලසීමාව තුළ සියලු දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ අපේක්ෂකයින් නීතිවිරෝධී ක්‍රියාවලින් වැළකී නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහය ලබාදෙනු ඇති බවට විශ්වාස කරන බවයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ.

මේ අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් අපේක්ෂකයින් දේශපාලන පක්ෂ හා ඡන්ද දායකයින්ද සහයෝගය ලබාදිය යුතු බව වී එෆ්එම් ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් පැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.

මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතාද අද මැදියම් රැයෙන් පසුව ඇරඹෙන නිහඩ කාලයේ වැදගත්කම සම්බන්ධයෙන් වී එෆ්එම් ප්‍රවෘත්ති වෙත අදහස් පලකළා.

LEAVE A REPLY