කොරෝනා අවදානම සම්බන්ධයෙන් ඇතැම් පාසල් දක්වන අවධානය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

විෂබීජහරණය, දෑත් සේදීම, මුව ආවරණ පැළදීම, පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම වැනි කොරෝනා මර්දන උපදෙස් කෙරෙහි දෙමාපියන්, ගුරුවරුන් මෙන්ම සිසු දරුවන් ද ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවටයි තොරතුරු වාර්තා වී තිබෙන්නේ.

පාසල් ප්‍රවාහන සේවා සැපයීම, ආපන ශාලා පවත්වාගෙන යාම ඇතුලු සෑම අවස්ථාවකම දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමේ සමාජ වගකීම පාසල් බලධාරීන් ප්‍රමුඛ ප්‍රජාවට පැවරෙන වගකීමක් බවයි අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කර සිටින්නේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණ වුණා.

එහිදී කරුණු දැක් වූ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පෙන්වා දී ඇත්තේ කොරෝනා දෙවන රැල්ලක අවදානම සහමුලින්ම පහව ගොස් නොමැති බවයි.

දෙවැනි රැල්ලක් ඇති වුවහොත් වැඩිම බලපෑමකට ලක් වන පිරිස පාසල් දරුවන් බව අමතක නොකළ යුතු වග ද ජයරුවන් බණ්ඩාර මහතා අවධාරණය කළා.

LEAVE A REPLY