මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොරෝනා පොකුර නිර්මාණය වූයේ කෙසේදැයි සොයා බැලීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් යොදවා විමර්ශනයක් ආරම්භ කිරීමටද පියවර ගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ආකාර කිහිපයකින් මෙම විමර්ශන සිදුකරන බවයි. සෞඛ්‍ය උපදෙස් මත පදනම්ව මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඊට පොලිස් නිලධාරීන්ගේ සහය ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා.

මිනුවන්ගොඩ කොරෝනා පොකුර අද පස්වරුව වන විට ආසාධිතයින් 1972 ක් දක්වා ඉහළ ගියා. ඒ තවත් ආසාධිතයින් 73 කු අද දිනය තුළ හදුනා ගැනීමත් සමඟයි. මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ දෙදෙනෙකු සහ ඔවුන් ඇසුරු කළ 71 කු අද දිනයේ කොරෝනා ආසාධිතයින් ලෙස හදුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවැසුවේ.

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආශ්‍රිතයින්ගේ සමීපතමයින් සොයා පරීක්ෂණ ආරම්භ කිරීමටද සෞඛ්‍ය අංශ මේ වන විට පියවර ගෙන තිබෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ඇතැම් තොරතුරු හා මූලාශ්‍ර සොයාගැනීම සඳහා මහත් වෑයමක් දැරීමටද සිදුව ඇති බවයි.

මේ අතර පුද්ගලයින් 53,395 කු මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා. කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවැසුවේ පුද්ගලයින් 9,415 කු තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 86ක් තුළ නිරෝධායනය වෙමින් සිටින බවයි.

එමෙන්ම මේ දක්වා කාලය තුළ සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව තුන්ලක්ෂ 73,534ක්. ඊයේ දිනය තුළ පමණක් පී.සි.ආර්. පරීක්ෂණ 7,675ක් සිදුකිරීමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

මේ අතර කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා කොළඹ සහ අවට ප්‍රදේශවල අහඹු ලෙස පී.සි.ආර්. පරීක්ෂණ සිදුකිරීමේ කටයුතු අද දිනයේත් සිදුකළා. ඒ අනුව අද දිනයේදී කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ පී.සි.ආර්. පරීක්ෂණ සිදුකිරීමට පියවර ගත් බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදීනි දිනුකා ගුරුගේ මහත්මිය පැවැසුවා.

එමෙන්ම විදෙස් ගතවන ගුවන් මගීන්ට පැය 72 ක් ඇතුළත පීසීආර් පරීක්ෂණය සිදු කිරීම අනිවාර්ය කර තිබෙනවා. ගුවන්තොටුපොළ හා ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ හෙට පස්වරු 6.00 සිට අදාළ තීරණය බලාත්මක කරන බවයි.

LEAVE A REPLY