රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා එල්ල වී සිටින රිෂාඞ් බදියුධීන් මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීමට මේ දක්වා හැකියාව ලැබී නැහැ. පොලිස් කණ්ඩායම් 06 ක් ඒ සඳහා යොදවා ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පසුගියදා ප්‍රකාශ කළේ. එමෙන්ම ඔහුට අයත් නිවාස පරීක්‍ෂා කිරීමටත්, බිරිඳගෙන් ප්‍රශ්න කිරීමටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකර තිබුණද දින 04 ක් ගතවී යන මේ මොහොත වන විටත්, රිෂාඞ් බදියුධීන් පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණ කර ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සමත්වී නැහැ.

කෙසේ වෙතත් මේ වන විට සමාජය තුළ ඇති වී තිබෙන සංවාදය වන්නේ මෙය පොලිසියේ අසමත්කමද එසේත් නැතිනම්, වෙනත් කාරණයක්ද යන්න පිළිබඳදයි. එමෙන්ම විවිධ පාර්ශව විමසා සිටින්නේ මෙතරම් දන්නා හදුනන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම මෙතරම් අපහසු ක්‍රියාවක් වන්නේ ඇයිද යන්නයි.

මේ අතර මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වී.රාධා ක්‍රිෂ්ණන් මහතා පැවැසුවේ රිෂාඞ් බදියුධීන් මන්ත්‍රිවරයා ආණ්ඩුවට එක්කර ගැනීම වෙනුවෙන් යම් උත්සාහයක් දියත් වන්නේදැයි බරපතල සැකයක් මතුවන බවයි.

ප්‍රභූවරුන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන සෑම අවස්ථාවකම මේ ආකාරයේ සිදුවීම් දැකගන්නට ලැබුණු බව බෞද්ධ තොරතුරු කේන්ද්‍රය පෙන්වා දෙනවා. එf ප්‍රභූ ආරක්‍ෂාව සඳහා යොදවා සිටින පොලිසිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නම්, මෙවැනි පුද්ගලයින් අත්අඩංගුට ගැනීම සඳහා මෙතරම් කාලයක් ගත කිරීමට සිදුනොවන බව එම කේන්ද්‍රයේ අදහසයි.

එමෙන්ම බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ සභාපති පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් යෝජනා කර සිටිනේ ස්වේච්ඡා පොලිසියක් වහාම ඇති කළ යුතු බවයි.

රිෂාඞ් බදියුධීන් මන්ත්‍රිවරයාට චෝදනා රැසක් එල්ල වී ඇති බවත්, ඔහුට විරුද්ධව මීට වඩා බරපතල ආකාරයේ නඩු පැවැරීමට නියමිත බවත් රජය පවසනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ අදහස් දැක්වීම සිදුකළේ ගම්පොළ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ රිෂාඞ් බදියුධීන් මන්ත්‍රිවරයාට කුමන හෝ ස්ථානයකින් විශේෂ ආරක්‍ෂාවක් සැලසෙන බවයි. හොදින් දන්නා බදියුධීන් මන්ත්‍රිවරයා සොයා ගැනීමට නොහැකි යැයි පැවැසීම පිළිගත නොහැකි කාරණයක් බවද ඔහු ප්‍රකාශ කළා.

LEAVE A REPLY