බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් අටලුගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 8 ක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. අටලුගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අදාල ග්‍රාමසේවා වසම් හුදෙකලා කිරිමට තීරණය කළ බවයි කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා ප්‍රකාශ කළේ.

අටලුගම ප්‍රදේශයේ 4 දෙනෙක් ආසාධිතයින් බව තහවුරු කරගැනීමත් සමඟයි එම ප්‍රදේශයේ අහුඹු පීසීආර් පරීක්‍ෂණ සිදුකළේ. ආසාධිතයින් 17 කු හදුනාගෙන තිබුණේ එම අහඹු පරීක්‍ෂණවලදීයී.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ ආයතන මට්ටමින් කොරෝනා පොකුරු නිර්මාණය වීමේ අවදානමක් මේ වන විට හදුනාගෙන ඇති බවයි. පොලිසිය, බන්ධනාගාර, නාවික හමුදාව වැනි ආයතන තුළ එවැනි කොරෝනා පොකුරු නිර්මාණය වෙමින් තිබේ. වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ මෙවැනි පොකුරු ඕනෑම ආයතනයක් තුළ නිර්මාණය වීමේ අවදානමක් පවතින බවයි. එබැවින් ආයතන තුළ කොරෝනා පොකුරු නිර්මාණය වීමට ඉඩ නොතැබීම ආයතන ප්‍රධානීන්ගේ හා කළමනාකරුවන්ගේත් සේවකයින්ගේත් වගකීමක් වන බවද සුදත් සමරවීර මහතා පෙන්වා දෙනවා.

එමෙන්ම අද දිනය වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ථ ආසාධිතයින් ගණන 19, 280 ක් ලෙස සටහන් වී තිබෙනවා. ඒ අතරින් 13, 590 කු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවැසුවා. එමෙන්ම තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ආසාධිතයින් ගණන 5616 ට ආසන්නයි.

LEAVE A REPLY