අද සහ හෙට දින දෙක තුලදී සාමාන්‍ය පරිදි දුර ගමන් සේවා බස් රථ ධාවනය කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි සභාපති කිංස්ලි රණවක මහතා කියා සිටියේ දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණ වන පරිදි දුරගමන් සේවා බස්රථ ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත්, හුදකලා ප්‍රදේශවලින් මගීන් බස්රථ තුලට නංවා ගැනීම හෝ බැස්වීම සිදු නොවන බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම, සෙසු ප්‍රදේශවල බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට එක්කරන ලෙසයි ඩිපෝ කළමණාකරුවන්ට උපදෙස් දී ඇත්තේ.

මේ අතර මගී ජනතාවගේ ඉල්ලීම සහ භාවිතය අනූව මෙම දින දෙකේදී දුරගමන් සේවා බස්රථ ධාවනයට යොදවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාද කියා සිටියා.

කෙසේවෙතත් සති අන්තයේදී කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළා.

LEAVE A REPLY